බරපතල සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වීමේ අවධානමක් ඇති ලීශ්මනයසිස් රෝගය





මීට වසර 15 කට පමන පෙර එනම් 1992 දී මුල්වරට මෙරටින් වාර්තා වූ ලීශ්මනයසිස් රෝගය පරපෝෂී ඒකසෛලික ජීවියකු ආසාදනය වීම හේතුවෙන් හට ගන්නා රෝගී තත්වයකි. ආසාදනයට ලක් වූ ස්ථානය අනුව මෙම රෝගය ප්‍රධාන ආකාර තුනකට පැවතිය හැක. චර්මීය ලීශ්මනයසීස් (Cutaneous Leishmaniasis), අන්තරාංග ලීශ්මනයසීස් (Visceral Leishmaniasis) සහ චර්ම ශ්ලේෂමල පටල ලීශ්මනයසීස් (Muco-cutaneous Leishmaniasis) මෙම ප්‍රධාන ආකාර තුනයි.
චර්මීය ලීශ්මනයසීස් නම් තත්වයේදී වැලිමැස්සා දෂ්ඨ කළ ස්ථානයේ සම මත කුඩා ගැටිත්තක් ඇතිවන අතර පසුව තුවාලයක් හෝ වණයක් දක්වා වර්ධනය විය හැකියි. අන්තරංග ලීශ්මනයසීස් තත්වයේදී ප්ලීහාව, අක්මාව සහ ඇටමිදුළු වැනි ඉන්ද්‍රීයන් පරපෝෂිතයා විසින් ආසාදනය කරනු ලබයි. මෙහිදී උණ ගතිය, බර අඩුවීම, රක්ත හීනතා තත්ව ප්‍රධානම රෝග ලක්ෂණ වන අතර ආසාදිත අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ඉදිමීම නිසා අසාමාන්‍ය ලෙස විශාල වූ උදරයක් දැක ගත හැක. චර්ම ශ්ලේශ්මල පටල ලීශ්මනයසීස් තත්වයේදී නාසය, මුඛය හා උගුර ආශ්‍රිත ශ්ලේෂමල පටල ආසාධනය වීම හේතුවෙන් එම ප්‍රදේශ වල වණයක් හටගැනීම සිදුවේ.  මේ අතරින් මෙරටදී බහුලවම වාර්තා වන්නේ සෞඛ්‍යමය වශයෙන් අඩුම හානියක් ඇති කරන චර්මීය ලීශ්මනයසීස් තත්වයයි. කෙසේ වෙතත් අනෙක් ආකාර දෙකද වරින් වර වාර්තා වේ.

 
චර්මීය ලීශ්මනයසිස් තත්වය හේතුවෙන් ඇති වූ තුවාලයක්











අන්තරාංග ලීශ්මනයසිස් වැළඳුන දරුවෙක්

මෙම රෝගය බෝකරන වාහකයා වැලිමැස්සා නමින් හඳුන්වයි. එසේම sand fly ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වීම හේතුවෙන් වැලිමැස්සා යන නම යෙදූවද ප්‍රාදේශිය ව්‍යවහාරයන් තුල විවිධ නම් භාවිතා කරනවා විය හැක. මෙතෙක් සිදුකළ අධ්‍යයනයන්හිදී පෙනීගිය ආකාරයට ඇතැම් ප්‍රදේශ වල කලිසම්කට්ටා, තඹල මැස්සා යන නම් වලින් හඳුන්වන්නේද වැලිමැස්සාය. එසේම හෝහපුටුවා යන නමද මෙම සත්වයා සඳහා ඇතැමුන් භාවිතා කලද හෝහපුටුවා යනු වැලිමැස්සා නොව ඉංග්‍රිසියෙන් Biting midges ලෙස හඳුන්වන කලු වර්ණයෙන් යුතු කුඩා සත්වයෙකි. තවත් අතැමුන් වැලි මැක්කා සමගද මෙම වැලි මැස්සා පටලවා ගනී. මෙම මැස්සා මදුරුවන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වන අතර පියාපත් වල දාරයේ, උදර ප්‍රදේශයේ සහ හිස ප්‍රදේශයේ රෝම දැකගත හැකියි. මදුරුවාගෙන් මෙන් පියෑඹීමේදී ශබ්දයක් නිකුත් නොවන අතර සාමාන්‍ය මදුරු දැලක සිදුර තුලින් පවා රිංගා යාමට තරම් කුඩා ශරීර ප්‍රමාණයක් දරයි. වැලිමැස්සා යන නම යොදනුයේ එම සතුන් වැලි සහ පස් වල බිත්තර දමා බෝ වීම හේතුවෙන් වුවද වැලි වල මෙම සතුන්ගේ හානිදායක සුහුඹුල් අවධිය හමු නොවේ. නිවසේ හෝ එළිමහනේ අඳුරු ස්ථාන වල මෙම වැලිමැස්සන් බහුලව ගැවසේ. මෙරට හමුවී ඇති වැලිමැස්සන් විශේෂ අතරින් රෝග වාහකයා ලෙස ක්‍රියාකරන බව තහවුරු වී ඇත්තේ Phlebotomus argentipes නම් විශේෂය පමණි. කෙසේ වෙතත් අනෙක් විශේෂ මෙම රෝගය පැතිරවීමට දායක වනවාද නැතිද යන්න තවමත් තහවුරු වී නැත. එපමණක් නොව පසුගිය වසරේ අගභාගයේදී Vector Ecology ජර්නලයේ පළවූ වාර්තාවකින් පෙන්වා දෙන ආකාරයට හෝහපුටුවන් තුල පවා මෙම පරපෝෂීතයන් සොයාගෙන ඇත. එනිසා රෝගය බෝ කිරීමට හෝහපුටුවන්ද දායක වනවා විය හැක. නමුත් මේ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස පරීක්ෂණ කිරීමෙන් තොරව අවසන් නිගමණයකට එළඹිය නොහැක. කෙසේ වෙතත් මිනිස් රුධිරය උරාබොන්නේ ගැහැණු වැලිමැස්සන් පමණි. ඒ ඔවුන්ගේ බිත්තර විකසනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන සිරුරට ලබා ගැනීම සඳහාය. මෙම වැලිමැස්සන් තුල ලීශ්මානියා පරපෝෂිතයන් සිටී නම් වැලි මැසි ගැහැණු සතා මිනිස් රුධිරය ලබාගන්නා අවස්ථාවේදී පරපෝෂිතයන් මිනිස් සිරුර තුලට වමාරනු ලබයි.


ගැහැණු වැලි මැස්සෙකු මිනිස් සිරුරකින්  ලේ උරා බොන අවස්ථාවක්
මෙම පරපෝෂිතයෙන් Leishmania ගණයට අයත් වන අතර ලොව පුරා විශේෂ 21ක් පමණ මෙම රෝගය ඇති කරනු ලබයි. චර්මීය ලීශ්මනයසිස් තත්වය ලොව විවිධ ප්‍රදේශ වලදී විවිධ විශේෂ ආසාදනය මගින් සිදුවන අතර විශේෂ 15ක් පමණ මෙම තත්වය ඇතිකිරීමේ හැකියාව දරයි. Leishmania tropica, Leishmania major සහ Leishmania mexicana යන විශේෂ මෙහිදී ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. අන්තරාංග ලීශ්මනයසිස් තත්වය ඇතිකිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම Leishmania donovani සහ Leishmania infantum යන විශේෂ මගින් සිදුවන ආසාදනය හේතු වේ. . චර්ම ශ්ලේශ්මල පටල ලීශ්මනයසීස් තත්වය ඇති කරනුයේ ප්‍රධාන වශයෙන්ම Leishmania ගණයේ Viannia නම් උප ගණයට අයත් පරපෝෂිතයන් මගිනි. Leishmania (Viannia) braziliensis, Leishmania (Viannia) guyanensis, Leishmania (Viannia) panamensis සහ Leishmania (Viannia) peruviana මේ සඳහා උදාහරණ කීපයකි. කෙසේ වෙතත් එක් පරපෝෂිත විශේෂයක් මගින් එක් රෝගී තත්වයකට වඩා ඇති කිරීමට හැකියාවක් ඇත . මීට හොදම උදාහරණය ශ්‍රී ලංකාවේදීම දැකගත හැක. මෙරට චර්මීය ලීශ්මනයසිස් තත්වයට හේතුවන්නේ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල්වලදී අන්තරාංග ලීශ්මනයසිස් රෝගය ඇති කරන Leishmania donovani විශේෂයේම  තවත් එක් ප්‍රභේදයක් මඟිනි.  .
මෙම පරපෝෂිතයන් විෂමගෘහි (Heteroxenous) වීම හේතුවෙන් ධාරකයන් කීප ද‍ෙනෙකු තුල ජීවත් වීමේ හැකියාව දරයි. එනම් මිනිස් වාසස්ථානයක් නොමැති ප්‍රදේශයක වුවද වෙනත් සතුන් තුල ජීවත් වෙමින් ජීවන චක්‍රය පවත්වා ගැනීමට හැකියාව පවතී. මිනිසුන් නැවතත් එම ප්‍රදේශයට පැමිණී විට මිනිසුන් ආසාදනය කිරීමට ඉඩ ඇත. එනිසා මොවුන් බෝවීම පාලනය කිරීම තරමක අභියෝගයකි. මෙසේ මෙම පරපෝෂිතයා මගින් ආසාදනය වන අනෙකුත් සතුන් වන්නේ වනාන්තර තුල ජීවත් වන මීයන් සහ අනෙකුත් කෘන්තකයන්, බල්ලන් සහ වෘකයන් වැනි සතුන්ය. ශ්‍රී ලංකාවේදී මිනිසා හරුණු විට පරපෝෂිතයන් සොයාගැනීමට සමත් වී ඇත්තේ සුනඛයන්ගේ සිරුරෙන් පමණි. රෝගය පාලනය කිරීමේදී නම් මෙවැනි ආසාදනය විය හැකි අනෙකුත් සතුන් ආසාදනය වීම වලක්වා ගැනීම සහ එම ආසාදිත සතුන් නොමැති වටපිටාවක ජීවත් වීම ඉතාමත්ම වැදගත්ය. 

රෝගය පාලනය කිරීමේදී ඖෂධ මගින් සිරුර තුල සිටින පරපෝෂිතයන් විනාශ කිරිම මෙන්ම වාහකයන් පාලනය කිරීමද ඉතාමත්ම වැදගත්ය. වාහකයන් පාලනය කිරීමේදී රසායනික ක්‍රම වලට වඩා පරිසර කලමණාකරණය සහ ජෛවවිද්‍යාත්මක පාලන ක්‍රම භාවිතා කිරීම වඩාත් සුදුසුය. මඩ සහ තෙතමනය සහිත පස තුල මෙම සතුන් බිත්තර දැමීම සිදුකරයි. එසේම වැඩිහිටි වැලිමැස්සන් මැටි සහිත බිම් ප්‍රදේශ ප්‍රිය කිරීම හේතුවෙන් මැටි ගෙබිම සහිත නිවාස වල වෙසෙන්නන්ට රෝගය වැළඳීමේ වැඩි අවධානමක් ඇත. අවට පරිසරයේ ගස් කපා එළි පෙහෙළි කිරීම හේතුවෙන් පස නිරාවරණය වීම නිසා මැස්සන්ට බිත්තර දැමීමට සුදුසු ස්ථාන වැඩිවීමද වාහකයන් ගහණය වැඩිවීමට හේතුවිය හැක. එසේ නමුත් නිවස අවට ඇති ගස් අතරට ආලෝකය නොයන ලෙස වැවී ඇති කුඩා වැල් ඉවත් කර, අනෙකුත් කුඩා ගස් වල අතු කපා වැඩිහිටි මැස්සන්ට සැඟවී සිටීමට හැකි අඳුරු ස්ථාන අවම කල යුතුය. 

වැලිමැස්සන් දෂ්ඨ කිරීම වලක්වා ගැනීමද ඉතාමත් වැදගත්ය. මේ සඳහා වැලිමැස්සන් වැඩිපුර ගැවසෙන පාන්දර සහ ගොම්මන් කාලවලදී එළමහනේ ගැවසීම අවම කිරිම සහ එසේ සිටීමට අවශ්‍ය නම් සිරුර හොඳින් ආවරණය වන ඇඳුමක් හැඳ සිරුරේ කෘමි විකර්ෂක ආලේපනයක් ගල්වාගෙන සිටිම මඟින් දෂ්ඨ කිරීමක් වලක්වා ගත හැක. නිදා සිටින අවස්ථාවේදී වැලිමැස්සන් නිවස තුලට පැමිණිම වැලැක්වීමට දොර ජනෙල් රෙදි පයිරෙත්රින් වැනි කෘමි විකර්ෂක ද්‍රව්‍යයකින් පොගවා තැබීම කල හැක. සාමාන්‍ය මදුරු දැලක සිදුරු තුලින් වැලිමැස්සන්ට රිංගා යා හැකි නිසා කෘමි විකර්ෂක වලින් පෙඟවූ මදුරු දැල් භාවිතා කිරීම වඩාත් ඵලදායකය. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය කිසිදු අවස්ථාවක වගකිව යුතු සහ ප්‍රමාණවත් දැනුමක් සහිත පුද්ගලයෙකුගේ මෙහෙයවීමකින් තොරව සිදු නොකල යුතුය. 

මෙම රෝගය 1992 දී පළමු වරට හඳුනා ගැනීමේ සිට වසංගත තත්වයක් දක්වා දියුණු වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස සාමාන්‍ය ජනතාව තුල පවත්නා නොදැනුවත්භාවය සැලකිය හැක. සම මතුපිට ගැටිත්තක් හෝ තුවාලයක් දුටු විගස වෛද්‍ය උපදෙස් ලබාගැනිම වඩාත් සුදුසු ක්‍රියාවයි. මුල් කාලයේදීම හඳුනාගෙන ප්‍රතිකාර ගතහොත් කිසිඳු ආකාරයක මාරාන්තික තත්වයක් ඇතිවන්නේ නැත. නමුත් ප්‍රතිකාර නොගෙන සිටියහොත් තත්වය බරපතල විය හැක. දැනට සුලබ තත්වයක පවතින්නේ චර්මීය ලීශ්මනයසීස් රෝගය පමණි. අනෙක් වර්ග දෙකම වාර්තා වන්නේ ඉතාමත් අඩුවෙනි. කෙසේ වෙතත් පසුගිය කාලය තුල සිදු වූ රෝගීන් සංඛ්‍යාවේ වෙනස් කම් සැලකු විට ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තත්වය බරපතල වීමට ඉඩ ඇත. මන්දයත් චර්මීය ලීශ්මනයසීස් එතරම් බරපතල නොවුවත් අනෙක් වර්ග දෙක තරමක් භයානක තත්වයන් ඇති කරයි. විශේෂයෙන්ම අන්තරාංග ලීශ්මනයසීස් තත්වය මැලේරියා වලට පසුව ලොව වැඩිම මරණ සංඛ්‍යාවකට වගකියන ඒකසෛලීය පරපෝෂිත ආසාදනය බවට හඳුනාගෙන ඇත. එනිසා මෙම රෝගයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වඩාත් සුදුසුම කාලය මෙය ලෙස සැලකිය හැක. රෝගය පිළිබඳව නිසි ලෙස දැනුවත් වී අන් අයද දැනුවත් කර රෝගය පැතිරීම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම අප කාගේත් වගකීමකි. නැතහොත් මැලේරියා රෝගය සාර්ථකව පාලනය කර අවසන් වන විට ඩෙංගි රෝගය බරපතල සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වී ඇත්තාක් මෙන් ඩෙංගි මෙරටින් තුරන් කරන විට හෝ ඊටත් පෙර ලීශ්මනයසීස් බරපතල සෞඛ්‍ය ගැටළුවක් බවට පත් වීමට ඉඩ ඇත.

තාරක විජේරත්න


No comments:

Post a Comment