කූඩාරමෙන් පිටතට පැමිණෙන මාගේ පය ගැටෙන්නේ පිණි වැටී දිළිසෙන තණනිල්ලයි. පින්නෙන් හැඩවූ මකුළු දැල් හිරු එළියට දිලිසෙද්දී සමනළයන්, බත්කූරන් සහ පක්ෂීන් සහ පසෙකින් ගලායාන ඇළ පහර එක්ව පරිසරයේ මවාපාන්නේ අසීමිත සුන්දරත්වයකි. රථ වාහන ගමන් කරන ශබ්ද සහ නලා ශබ්ද ඇසෙන්නට නැත. ඈතින් පෙනෙන තේ වතුයාය වනය ගිලගැනීමට සැරසෙන රාක්ෂයෙකු මෙන් දිස්වීම හේතුවෙන් හිතේ කොණක කුඩා වේදනාවක් පැන නැගුනද පරිසරයේ පවතින්නා වූ සුන්දරත්වය මා සිතට ගෙන ආ අසීමිත සැනසීම වචනයෙන් විස්තර කළ නොහැක්කකි. දින ගණනක් වනය තුළ ගතකර නැවතත් නිවස කරා යාමට කාලය පැමිණ ඇත. මිනිත්තු කීපයක ගමනකින් පසු බස් නැවතුම්පළ වෙත ලඟා වූ මා කලවාන දක්වා ගමන් කරන බස්රථයට ගොඩ වී කලවානට පැමිණ එහි සිට රත්නපුර නගරය දක්වා බස් රථයට ගොඩ වුනෙමි. සොඳුරු සිනහවකින් මුව සරසාගත් කොන්දොස්තර මහතා මා අසලට පැමිණ මුදල් ලබා ගන්නා අතරම ආ ගිය තොරතුරු කතා කරන්නට විය. "මහත්තයා සිංහරාජෙ බලන්න ආවද ?" ඔහු එක්වරම එසේ ඇසුවේ මගේ බෑගය සහ ඇඳුම් වල ස්වභාවය නිසා විය යුතුය. "ඔව් සිංහරාජෙට තමයි ආවෙ. හැබැයි බලන්නමත් නෙමේ. මම කොළඹ කැම්පස් එකේ. මෙහෙ මම රිසර්ච් එකක් කරනවා. මකුළුවො ගැන".
"ආහ් එහෙමද. මොනවද මහත්තයො මකුළුවො ගැන හොයන්නෙ ?" මෙහිදී ඔහුට එය තේරුම් යන ආකාරයකට පවසන්නේ කෙසේද කියා මා තරමක් අපහසුතාවයකට පත්වුවද සරලව කෙටි විස්තරයක් ඔහුට කළෙමි. "මම බලන්නෙ අපි කැලේ කපනකොට ඒකෙන් මකුළුවන්ට වෙන බලපෑම මොන වගේද කියලා." ඔහුට එය නොතේරුන බව මුහුණෙන් පෙනුනද ඔහු මුවින් එවැන්නක් ඇඟෙවුවේ නැත. "මහත්තයලා ඕවා අනිවාර්යයෙන්ම කරන්න ඕනද" මා හිස වනා එය තහවුරු කළද ඔහු සෑහීමකට පත්වූ බවක් නොපෙණින. "උපාධිය ගන්න මේ වගේ රිසර්ච් එකක් කරන්න ඕන" මම කීවෙමි. ඔහුගේ බැල්ම තරමක් නුරුස්සන ස්වභාවයක් ගත්තේය. "අනේ මන්දා මහත්තයෝ රටේ මේ තරම් ප්‍රශ්න තියෙනවා කැම්පස් වලින් සල්ලි වියදම් කරන්නෙ බොරු වැඩ වලට" ඔහුගේ එම ප්‍රකාශයට මට තරමක තරහක් සිතට නැගුණද එය නොපෙන්වූයේ ඔහුගේ නොදැනුවත්කම පිළිබඳව ඇති වූ අනුකම්පාව හේතුවෙනි. මා සිනාසී ඉවත බලා ගත්තෙමි.
සත්ව විද්‍යා ක්ෂේත්‍රය මෙන්ම සංරක්ෂණ විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳව සාමාන්‍ය ජනතාව පිළිබඳ ඇති අල්ප දැනුම පිළිබඳව මා කලකිරීමට ලක්වූ එකම අවස්ථාව මෙය නොවේ. මානව කේන්ද්‍රීය චින්තනයකට හුරු වූ අප යම් කිසි දෙයක් ගැටළුවක් ලෙස දකින්නේ එය මිනිසාට හෝ මිනිසාගේ පැවැත්මට තර්ජනයක් නම් පමණි. අප පරිසරය සහ ජෛවවිවිධත්වය සංරක්ෂණය කල යුත්තේ ඇයිදැයි බොහෝ දෙනාට නිවැරදි අවබෝධයක් නැත. සමාජය තුළ සංරක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයට සෑමවිටම යොමුවන්නේ ඉතාමත් අඩු අවධානයකි. එබැවින් මෙම ලිපියේ අරමුණ නම් පරිසරය සහ ජෛවවිවිධත්වය සුරැකීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් පාසල් සිසුන් ඇතුළු පාඨකයන් තුල ඇතිකිරීමයි.
ජෛව විවිධත්වය සංරක්ෂණයේ වැදගත්කම සදාචාරාත්මක සහ පරිසර විද්‍යාත්මක ලෙස අංශ දෙකක් යටතේ පෙන්වා දිය හැක. සදාචාරාත්මකව බැලීමේදී සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් ඇත. අප සිදුකරන ක්‍රියා මගින් අනෙකුත් සතුන්ගේ පැවැත්මට තර්ජනයක් සිදුවනවා නම් එම සතුන් සංරක්ෂණය කිරීමටද වගකීමක් අප සතුව ඇත. පරිසර විද්‍යාත්මකව සැලකීමේදී සෑම ස්වභාවික පරිසර පද්ධතියකම ජීවත් වන සෑම ජීවියකුම එම පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම උදෙසා යම් කිසි කාර්යයක් ඉටුකරයි. කිසියම් පරිසර පද්ධතියක ජෛවවිවිධත්වය වැඩි වන තරමට එම පරිසර පද්ධතියේ ස්ථාවරත්වය වැඩිවේ. එම පරිසර පද්ධතියේ යම් කිසි වෙනසක් සිදුවුවහොත් මෙම තුල්‍යතාව බිඳ වැටේ. මෙසේ තුල්‍යතාව බිඳවැටීම නිසා එම පරිසර පද්ධතිය විනාශ වී යා හැක. විලෝපිකයන් මේ සඳහා හොඳම උදාහරණයකි. අනෙකුත් ජීවීන්ව ආහාරයට ගැනීම නිසා විලෝපිකයන් පරිසර පද්ධතියක සතුන්ගේ පැවැත්මට තර්ජනයක්බව ඇතැමුන්ගේ අදහසයි. නමුත් සැබැවින්ම පෙර සඳහන් කල ලෙසට අනෙක් සෑම සතෙකු මෙන්ම විලෝපිකයන්ද පරිසර පද්ධතියේ වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. උතුරු ඇමරිකාවේ Yellowstone ජාතික වනෝද්‍යානයේ වෘකයන් ඉවත් වීමෙන් පසු ඇතිවූ බලපෑම් විමසා බැලීමෙන් මෙය අවබෝධ කරගත හැක. විසිවන දශකයේ මුල් කාලයේදී දඩයම් කිරීම හේතුවෙන් මෙම වනෝද්‍යානයේ සිටි වෘකයන් සියළුම දෙනා වනාන්තරය තුලින් නෂ්ඨ විය. වසර ගණනාවකට පසු එහි ප්‍රතිඵලයක් ලෙස මුවන්ගේ ගහණය සීඝ්‍ර ලෙස පාලනය කල නොහැකි මට්ටමකට වර්ධනය වන්නට විය. මුවන් විසින් ආහාරයට ගන්නා ශාක වලටද විශාල හානියක් සිදුවිය. එයින් ශාක ආහාර මත යැපෙන කෘමින්, පක්ෂීන් සහ අනෙකුත් ක්ෂීරපායීන් සහ එම සතුන් මත යැපෙන විලෝපිකයන් වන පක්ෂීන්, උභයජීවීන් සහ උරගයන්ගේද පැවැත්මට බලපෑම් ඇති වන්නට විය. විද්‍යාඥයන් හට ගැටළුව අවබෝධ වන්නට වූයේ පසුකාලීනවය. ඒ අනුව 1995 දී උද්‍යාන බළධාරීන් විසින් නැවතත් වෘකයන් වනෝද්‍යානයට හඳුන්වා දෙන ලදී. වෘකයන්ගේ ප්‍රධානම ගොදුර මුවන්ය. එනිසා වෘකයන් මුවන් ආහාරයට ගැනීම හේතුවෙන් මුවන් ගහණය පාලනය වූවා මෙන්ම වනයේ ඇතැම් ප්‍රදේශ, උදාහරණයක් ලෙස මුවන් පහසුවෙන් වෘකයන්ට හසුවීමට ඉඩ ඇති ප්‍රදේශ මඟහැර සිටීමට මුවන් හුරු විය. එනිසා එම ප්‍රදේශයන්ගේ ශාක උසට වර්ධනය වන්නට පටන් ගත්තේය. පාංශු ඛාදනය අවම වීම නිසා පස සරු වී ශාක විවිධත්වය වැඩි වන්නට විය. එපමණක් නොව උද්‍යානයේ වෘකයන් ඉවත් කිරීමෙන් පසු දැකගත නොහැකිව තිබූ සතුන් රැසක් නැවතත් වනෝද්‍යානය තුල ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. වාසස්ථාන විවිධත්වය ඉහළ යාම හේතුවෙන් ජෛවවිවිධත්වයද වැඩිවී සශ්‍රීක වනොද්‍යානයක් බවට Yellowstone ජාතික වනෝද්‍යානය පත්විය. විලෝපිකයෙකු පවා පරිසර පද්ධතියක පැවැත්මට කෙතරම් වැදගත්දැයි මින් අපට පෙනී යයි. මකුළුවන්, කෘමීන් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් පිළිබඳව සැලකුවද ඔවුන්ද මේ ආකාරයෙන් වැදගත් සේවයක් පරිසර පද්ධතියක් තුල ඉටු කරයි. අපගේ අවධානයට යොමු නොවූවද මකුළුවන්ද අප අවට පරිසරය තුළ නොසිටියහොත් නොයෙකුත් ලෙඩ රෝග පතුරුවන වාහකයන් සහ ශාක මත යැපෙන කෘමීන් පාලනය කල නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් විශාල වශයෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු ඇතිවීමට ඉඩ ඇත. මෙසේ සෑම ජීවියෙකුගේම මිහිමත පැවැත්ම අනෙක් සියළුම ජීවීන්ගේ පැවැත්මට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වේ. එබැවින් මෙහිදී අප අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණය නම් ජෛවවිවිධත්වය සංරක්ෂණය යනු ඉතාමත් වැදගත් සහ විශාල අවධානයක් යොමුවිය යුතු ක්ෂේත්‍රයක් බවයි.
නිසි ලෙස සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා සතුන්ගේ සහ ශාක වල වාසස්ථාන පිළීබඳව සහ එම වාසස්ථානයන් තුල ඔවුන්ට තිබිය යුතු අවශ්‍යතා පිළිබඳවත් මානව ක්‍රියාවන් නිසා සතුන්ට සහ ශාක වලට ඇතිවන බලපෑමේ ස්වභාවය පිළිබඳවත් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙසේ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව එක් එක් ජීවීයා තර්ජනයට ලක්වී ඇති ප්‍රමාණය අනුව කාණ්ඩගත කිරීමක් සිදුකරයි. මෙම දත්ත ඇතුලත් වාර්තාව “රතු දත්ත ලැයිස්තුව” ලෙස හැඳින්වෙන අතර ජීවීන් සංරක්ෂණය කිරීමේ කටයුතු වලදී මෙම දත්ත උපයෝගී කරගනිමින් වඩාත් තර්ජනයට ලක් වී ඇති ජීවීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සිටින බහුතරයක් අපෘෂ්ඨවංශින් පිළිබඳව සංරක්ෂණ කටයුතු වලට අදාලව පවතින්නේ දත්ත ඉතාමත් අල්පයකි. එබැවින් එම ජීවීන් සංරක්ෂණය සඳහා තොරතුරු රැස්කිරීම සඳහා සිදුකරන අධ්‍යයනයන් කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.
මෙවැනි අධ්‍යයන කටයුතු සඳහා ඇති ප්‍රධානම ගැටළුවක් නම් ඒ සඳහා ලැබෙන ප්‍රතිපාදන වල හිඟවීම සහ එවැනි ක්ෂේත්‍ර වල නියැලෙන පිරිස් අඩු වීමයි. එසේම තවත් අභියෝගයක් නම් ජෛව විවිධත්වය සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ හරියාකාර අවබෝධයක් සාමාන්‍ය ජනතාව තුල නොමැති වීම හේතුවෙන් එවැනි සංරක්ෂණ ක්‍රියා සඳහා ඔවුන්ගෙන් ඇති සහයෝගය ඉතාමත් අඩු වීමයි. ජෛවවිවිධත්ව සංරක්ෂණය සඳහා ජනතාවට විවිධ ආකාරයන්ගෙන් සහය දැක්වීමට හැකියාව ඇත. අප සතු වනාන්තර පද්ධතිය සහ එහි සිටින ජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අප සියළු දෙනා සතුව විශාල වගකීමක් ඇත. නමුත් අවාසනාවකට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා උනන්දුවක් ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණි. මෑත කාලීනව සිදුවන මහා පරිමාණ වන විනාශයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ සංකූලතා වලටද මහජනතාව තුල පවතින නොදැනුවත්කම සහ උනන්දුවක් නොමැති කම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.
අද වන විට අප රටේ වනාන්තර පද්ධතිය සීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. එනිසාම බොහෝමයක් ජීවී විශේෂ විශාල තර්ජනයකට මුහුණ පා සිටී. එනිසාම අප විසින් ජෛවවිවිධත්වය රැකගැනීමේ වැදගත්කම අවබෝධ කරගැනීම මෙන්ම ජෛවවිවිධත්වය සුරැකීම සඳහා පුරවැසියෙකු ලෙස අප සතුව ඇති වගකීම නිසියාකාරව ඉටු කිරීමද ඉතාමත් වැදගත්ය.
තාරක විජේරත්න
No comments:
Post a Comment