වන ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි ගෘහාශ්‍රිත සතුන්ගේ බලපෑම



මානව ඉතිහාසය තුලදී මිනිසුන් තම විවිධ අවශ්‍යතා සපුරා ගැනීම  සඳහා විවිධ සතුන් ගෘහාශ්‍රිතව තිකිරීමට පුරුදු වී ත. ප්‍රධාන ලෙසම කෘෂිකාර්මික කටයුතු සඳහාත් ඊට අමතරව සුරතලුන් ලෙසත් මෙලෙස සතුන් ති කිරීම ඇරඹී ඇති අතර මෙලෙස ඇති කරන සතුන්ගේ ගහණය ස්වභාවික පරිසරයේ සාධක මගින් පාලනය නොවීම නිසා බොහෝ විට ස්වභාවික පරිසරයේ සතුන්ගේ පැවැත්ම කෙරෙහි ඔවුන්ගෙන් බලපෑම් ඇතිවිය හැක. මිනිසුන් ලොව පුරා සංක්‍රමණය වීමත් සමගම මෙම සතුන් මින් පෙර නොසිටි ප්‍රදේශ වලට පැතිරී යාම මෙම ගැටළුව තවදුරටත් උග්‍ර වීමට හේතු වී ඇත.බළලුන් සහ සුනඛයන් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර මී හරකුන්, කුකුළන් සහ තාරාවන් වැනි ඇතැම් කෘෂිකාර්මික සතුන්ද තරමක අවාසිදායක බලපෑම් ඇති කරනු ලබයි.

ලොව පුරා සෑම රටකම පාහේ බළලුන් සුරතලුන් ලෙස ඇති කරනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මිලියන 150කටත් වැඩි බළලුන් ප්‍රමාණයක් සිටින බව වාර්තා පෙන්වා දෙයි. Smithsonian Conservation Biology Institute හි විද්‍යාඥයකු වන Pete Marra ඇතුළු පිරිස සිදු කළ අධ්‍යයනයක් ඇසුරෙන් Nature සඟරාව 2013 දී පළකරන ලද වාර්තාවකට අනුව ඇමරිකාව තුල වසරකදී පක්ෂීන් බිලියන 1.4-3.7. අතර පුමාණයකුත්, කුඩා ක්ෂීරපායින් බිලියන 6.7-20.7 අතර ප්‍රමාණයකුත් බළලුන් විසින්මරා දමන බවට සොයාගෙන ඇත. හිමිකරුවන් විසින් අතහැරදැමූ සතුන්ගෙන් ඇති වන බලපෑම වඩාත් ඉහළ බවද මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි. මිනිසුන් විසින් ඍජුවම හෝ වක්‍රාකාරව පෝෂණය කරමින් රැකබලා ගැනීම හේතුවෙන් ස්වභාවිකව හමුවන අනෙකුත් විලෝපිකයන් මෙන් ඔවුන්ගේ ගහණය පාලනය වීමක් සිදු නොවන අතර ගෘහාශ්‍රිත සහ හිමිකරුවන් විසින් අතහැරදැමූ බළලුන් ගහණය ඇතැම් විට ස්වභාවික පරිසරයේ සිටින විලෝපිකයන් ප්‍රමාණයට වඩා ඉතා ඉහළ අගයකි. මෙම කරුණු ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ Kerrie Anne Loyd ඇතුළු පිරිස මඟින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකින් පෙන්වා දෙන ආකාරයට බළලුන් මඟින් සිදුවනබලපෑම පක්ෂීන්ගේ පැවැත්මට බලපාන ප්‍රධානම තර්ජනය ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති වාසස්ථාන විනාශ වීමටද වඩා වැඩි විය හැක.පක්ෂීන් සහ ක්ෂීරපායීන් පමණක් නොව උභයජීවීන් සහ උරගයන්ද ඇතැම් විට බළලුන්ට ගොදුරු වේ.

වනජීවීන්ගේ පැවැත්ම කෙරෙහි සුනඛයන්ගෙන් පවතින බලපෑමද නොසලකා හැරිය නොහැක. ලොව පුරා සුනඛයන් මිලියන 500කට අධික ප්‍රමාණයක් සිටින බවට වාර්තා පෙන්වා දෙන අතර සතුන් දඩයම් කිරීම සුනඛයන්ගෙන් කුඩා සතුනට පවතින ප්‍රධාන තර්ජනය ලෙස හඳුනා ගෙන ඇත. බළලුන් මෙන්ම මිනිසුන් විසින් පෝෂණය කරමින් රැකබලා ගැනීම හේතුවෙන් සුනඛයන් ගහණයද පරිසරයේ ධාරක ධාරිතාවට වඩා සෑම විටම ඉහළ අගයක් ගනී. ඒ හේතුවෙන් කුඩා සතුන්ගේ ගහණයන්ගේ ස්වභාවික තුල්‍යතාව බිඳ වැටී එම සතුන් වඳ වී යා හැක.

මෙලෙස ගෘහාශ්‍රිත සතුන් මගින් දඩයම් කිරීම හේතුවෙන් සතුන් වඳවී යාම සඳහා නවසීලන්තයේ සිදුවූ  වඳවීම් ප්‍රබල උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක. 19 වන සියවසේදී යුරෝපීයයන්ගේ පැමිණීමත් සමඟම නවසීලන්තයට හඳුන්වා දුන් බළලුන් නිසා පක්ෂි විශේෂ 6ක සහ උප විශේෂ 70කටත් අධික ප්‍රමාණයක් වඳවී ගිය බවත් ඇතැම් පක්ෂි සහ උරගයන්ගේ ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවද 1992 දී නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවද නවසීලන්තය මෙන්ම දූපත් රාජ්‍යයක් වීම නිසා මෙම කරුණ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.


ගෘහාශ්‍රිත සතුන් විසින් දඩයම් කිරීම කුඩා සතුනට ඔවුන්ගෙන් පවතින ප්‍රධාන තර්ජනය වන අතර විශාල සතුන්ට පවතින ප්‍රධාන තර්ජනය නම් ගෘහාශ්‍රිත සතුන් සමඟ අන්තරාභිජනනය හේතුවෙන් දෙමුහුන් සතුන් බිහි වී වනගත සත්ව ගහණය වඳ වී යාමයි. ශ්‍රී ලංකාවේ කුළු හරකුන් සහ මී හරකුන් අතර අන්තරාභිජනනයෙන් දෙමුහුන් සතුන් බිහි වීම මේ සඳහා  උදාහරණ ලෙස ගත හැක. ඊට අමතරව සුනඛයන්ද වනගත සතුන් සමඟ අන්තරාභිජනනය සිදු කිරීම නිසා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වූ අවස්ථා වාර්තා වී ඇත. සුනඛයන් අයත් වන Felis ගණයේ සතුන් අතර අන්තරාභිජනනය මගින් සරු ජනිතයන් බිහි කිරීමට හැකිවීම මීට හේතුවයි. ලොව පුරා රටවල්වලින් සුනඛයන් සහ වෘකයන් අතර දෙමුහුන් සතුන් පිළිබඳව වා්තා පවතී. දැඩි ලෙස අන්තරායට ලක්වී සිටින සත්ව විශේෂයක් වන ඉතියෝපියානු වෘකයන්  ගෘහාශ්‍රිත සුනඛයන් සමඟ අන්තරාභිජනනයේ යෙදෙන බවත් ඒ හේතුවෙන් බිහි වූ දෙමුහුන් සතුන්ද දැකගත හැකි බවත් 1994 වසරේදී D Gotelli සහ C Sillero-Zubiri ඇතුළු පිරිස සිදුකළ පර්යේෂණයක් ඇසුරෙන් Molecular Ecology ජර්නලයේ පළ වූ වාර්තාවකින් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුල මෙවැනි බලපෑම් පෙන්වීම සඳහා සිදුකළ කිසිදු පර්යේෂණයක වාර්ථා නොමැති වුවද, අනෙකුත් රටවල් වල අත්දැකීම් සළකා බලමින් මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. එසේම ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු යැයි මෙම ලිපියෙන් අදහස් නොවේ.  නි‍වෙස්වල වෙසෙන බළළුන් පැටවුන් බිහිකළ විට එම පැටවුන් නිවසින් දුර බැහැරකට ගෙන ගොස් අතහැර දැමීම ඉතා සුළබ සිදුවීමකි. එවැනි ක්‍රියාවන්ගේ බරපතල බව පෙන්වා දීමත්, නිසි පරිදි සැත්කම් මගින් හෝ වෙනත් ක්‍රම මගින් අනවශ්‍ය ලෙස සතුන් බෝ වීම වලක්වා ගැනීමේ වැදගත්කම පෙන්වාදීමත් මෙහි අරමුණ වේ. 

No comments:

Post a Comment