සීමිත ජල සම්පත රැකගනිමු : කෙටිකාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග කීපයක්



දැනට පවතින වියළි කාලය හේතුවෙන් ජල උල්පත් සිඳී යාම සහ වැසි නොමැති වීම මේ වන විට බරපතල ගැටළුවක් බවට පත් වෙමින් තිබේ. එබැවින් මෙම සීමිත ජල සම්පත ආරක්ෂා කරගැනීමට අනුගමනය කල හැකි කෙටිකාලීන ක්‍රියාමාර්ග 12ක් පහතින් දක්වා ඇත. 

     ස්නානය සඳහා යොදා ගන්නා කාලය සහ සතියකට       ස්නානය කරන වාර ගණන අඩුකරන්න.

පුද්ගලයකු දිනකට වැඩිම ජලප්‍රමාණයක් භාවිත කරන්නේ ස්නානය සඳහායි. දින දෙකකට වරක් ස්නානය කිරීම සහ එක් වරකදී ස්නානය කරන කාලය අඩු කිරිම මඟින් සැලකිය යුතු ජල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකියි.

      වැසිකිළි භාවිතයේදී අවම ජල ප්‍රමාණයක් භාවිතා කිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
දිනකට නිවසක දෙවන වැඩිම ජලප්‍රමාණයක් වැය වන්නේ වැසිකිලි භාවිතය සඳහායි. මේ වියළි කාලයේදී අවම ජලප්‍රමාණයක් වැසිකිළි සඳහා භාවිතා කිරීමට ප්‍රවේශම් වන්න.

         මූණ සෝදන සෑම විටම භාජනයකට ජලය ගෙන සෝදන්න.

      රෙදි සේදීමේදී සෝදන වාර ගනන හැකි තරම් අඩුකරගන්න.
      වරින් වර රෙදි සේදීමේදී වැඩි ජල ප්‍රමාණයක් වැය වන බැවින් රෙදි එක්කර තබා සියල්ල එක්වර සේදීම මඟින් වැයවන ජල ප්‍රමාණය අඩුකරගත හැකියි.

      රෙදි සේදීමේදී කුණු අතුල්ලා යැවීමට බුරුසුවක් භාවිතා කරන්න.
මෙමගින් කුණු ඉවත් වීම ඉක්මන් කර වැයවන ජල ප්‍රමාණය අඩුකරගත හැකියි.

      රෙදි සෝදන මැෂින් වලින්, ආහාර පිසීමෙන් පසු සහ ස්නානය කිරීමෙන් පසු ඉවත්වන ජලය එක්රැස් කර පැළ වලට දමන්න. එසේත් නැතිනම් එම ජලය ළිඳ අසල එක්රැස් වී පොළව තුලට කාන්දු වීමට සලස්වන්න.
මේ මඟින් භාවිත කල ජලය නැවතත් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදාගත හැකියි. ළිඳ අවට එක්රැස් වීමට හැරීමෙන් එම ජලය නැවතත් භූගත උල්පත් ජලයට එක්වීම මඟින් ළිඳේ ජලමට්ටම ඉහළ යාමට සුළු හෝ දායකත්වයක් ලැබේ.

     වත්තේ ප්‍රයෝජනවත් පැළ ඉතිරි වන පරිදි වල් පැළ ගළවා අනෙක් පැළ පාමුළට දමන්න.
මෙමගින් වටිනා භූගත ජලය උරාගන්නා වල්පැළ ඉවත් වනවා මෙන්ම වටිනා පැල වලින් ජලය වාෂ්පීභවනය වීම අවම කරයි. එසේම භූගත ජලමට්ටම ඉහළයාමටද හේතුවිය හැකියි.

      කුණු හෝ කොළ රොඩු පිළිස්සීම හෝ වෙනත් කිසිම කාර්යයක් සඳහා ගිණිමැල දැල්වීමෙන් වලකින්න.
ගිණිමැල දැලිවීම මඟින් මතුපිට පොළවේ ජලය වාෂ්ප වී ඉවත් වනවා මෙන්ම, වියළි කාළගුණය හේතුවෙන් ගින්න පැතිරී විශාල හානියක් සිදුවිය හැකියි.


      වැසිකිළි ටැංකියෙන් ජලය කාන්දු වේ දැයි බලා ඒ සඳහා පිළියම් යොදන්න.
වැසිකිළි ටැංකියට තීන්ත හෝ ආහාර වර්ණක ස්වල්පයක් එක්කර තබා මද වේලාවකින් බැලූ විට ජලය වැසිකිළිය තුලට කාන්දු වී ඇත්දැයි දැනගත හැකිය.

       පැළ වලට ජලය දැමීමේදී ප්‍රධාන සැපයූමෙන් ලබා නොගෙන හැකිතාක් ඉහත ඇතැම් ස්ථාන වලදී සඳහන් කලාක් මෙන් විකල්ප ක්‍රම භාවිතා කරන්න, එසේම ජලය පැලවලට දමන්නේ නම් පාන්දරින්ම හෝ රාත්‍රියේදී දමන්න.
මෙමගින් වාෂ්ප වීම අවම කර පැළ වට උරා ගන්නා ජලප්‍රමාණය වැඩිකරගත හැකියි.

      පිඟන් සේදීම හැකි සෑම විටම අතින් සිදුකරන්න.
පිඟන සේදීම සඳහා dish washers භාවිතා නොකර අතින් සෝදන්න

      නිවසේ ජල කාන්දුවක් ඇති ස්ථාන වේ නම් කඩිනමින් පිළියම් යොදන්න.
කුඩා කාන්දුවකන් වුවද දිනකට සැලකිය යුතු ජල ප්‍රමාණයක් අපතේ යාමට ඉඩ ඇත.




මෙවැනි කෙටි කාලීන උපක්‍රම මඟින් පවතින වියළි කාළගුණය තුල ජලය ආරක්ෂා කරගත හැකියි. කෙසේ වෙතත් විශාල ජලහිඟයක් අනාගතයේදී ඇතිවීම වලක්වා ගැනීමට දීර්ඝ කාලීන වශයෙන් වැදගත්වන ක්‍රියාමාර්ග කීපයක්ද පහළින් දැක්වේ. 

1.       ජල මූලාශ්‍ර ආශ්‍රිතව පොළවේ ජලමට්ටම අඩුකරන පැල වෙනුවට ජලමට්ටම වැඩිකරන කුඹුක් වැනි පැල හැකිතරම් සිටුවන්න.

2.       ප්‍රදේශයේ ශාක ගහණය හැකි තරම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට උත්සහ කරන්න.
හැකි සෑම විටම ගසක් කැපීම වලක්වා ගැනීමට උත්සහ කරන්න. යමෙකු අනවශ්‍ය ලෙස ගසක් කපා ඉවත් කිරීමට සැරසේ නම් ඒ සඳහා විරුද්ධ වීමට සාධාරණ අයිතියක් ඔබ සතුව ඇත.

3.       තේ වැනි වගා බිම් වල අතරින් පතර විශාල ගස සිටුවීමට කටයුතු කරන්න.
නමුත් පයින් හෝ රබර් වැනි ශාක මෙසේ සිටුවීම නුවණට හුරු නැත.

4.       ජලය ආරක්ෂා කරගැනීමට හැකි පරිදි බිම් සකස් කරන්න.

මීට වසර කීපයකට පෙර පැවතියාට වඩා ඉතාමත් ඉහළ උණුසුමක් මෑතක පටන් වියළි කාළය තුල අප අත් දකින බව ඔබට මනාව වැටහෙන කරුණකි. ඒ හේතුවෙන්ම පෙරට වඩා ඉක්මණින් ජල උල්පත් සිඳී යන බවද ඉතාමත් පැහැදිලිය. එබැවින් අනාගතයේ තවත් දරුණු තත්වයන් වළක්වා ගැනීම පිණිස ඉතිරිව පවතින ශාක වැස්ම ආරක්ෂා කරගැනීම අප කාගේත් වගකීමක් බව තරයේ මත තබා ගතයුතු කාරණයකි. එසේම මේ පිළීබඳව ඔබේ පවුලේ සාමාජිකයන් අසල්වැසියන් දැනුවත් කිරීමත් පුරවැසියෙකු ලෙස ඔබගේ යුතුකමකි.  

No comments:

Post a Comment